මනස හදා ගත්තොත් යහපත් ප්‍රතිඵලයක්‌ දකින්න පුළුවන්

Share Button

පරාජයෙන් එගොඩ වීමට සැලසුම් සකස්‌ කරමින් සිටින ශ්‍රී ලංකා පිල පළමු වරට ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ අද (31 දා) ඉන්දියාව සමග පැවැත්වෙන සිව්වැනි එක්‌දින තරගයට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ.

කණ්‌ඩායම් දෙකම ඊයේ සවස්‌වරුවේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වූ අතර එහිදී නායක ලසිත් මාලිංග පවසා සිටියේ තමාට දුන් වගකීම ඉහළින්ම ඉටු කිරීමට තමා උත්සහ කරන බවයි.

උපුල් තරංග තරග තහනමකට ලක්‌වීමෙන් චාමර කපුගෙදරට එක්‌දින නායකත්වය ලබාදුන්නද ඔහුද පල්ලකැලේ තරගයෙන් අනතුරුව ආබාධයකට ලක්‌වීමෙන් කණ්‌ඩායමෙන් ඉවතට විසිවිය. අනතුරුව කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ලසිත් මාලිංගව නායකත්වයට පත්කිරීමට ජයසූරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.

“සනත් ජයසුරිය ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ඉන්නකොට තමයි මාව 2014 දී විස්‌සයි විස්‌ස ලෝක කුසලාන නායකත්වයට නම් කළේ. මේ නායකත්වයත් මට ලබාදුන්නේ ඔහු තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ඉන්නකොට. මට මේ අවස්‌ථාවේදී ලොකු අභියෝගයක්‌ තියෙනවා. අන්තිම අවුරුදු දහ හතරේදී මම ගත්ත අත්දැකීම් එක්‌ක කණ්‌ඩායම මෙහෙයවන්න බලාපොරොත්තු වෙනවා. අපිට හොඳ නවක ක්‍රීඩකයන් මෙන්ම අත්දැකිම් තියෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් ඉන්නවා.”

ලසිත් මාලිංග මේ තරගයට සහභාගි වන්නේ තුන්සිය වැනි කඩුල්ලට තවත් එක්‌ කඩුල්ලක්‌ පිටුපසින් සිටිමිනි. නමුත් ඔහුගේ වර්තමාන දක්‍ෂතාව මේ කාලයේදී දැඩි කතාබහට ලක්‌ව තිබේ. ඉන්දියාව සමග පැවැති තරග තුනේදීත් මාලිංග පන්දු ඕවර 21 ක්‌ යවා දවාගෙන ඇත්තේ එක්‌ කඩුල්ලකි. ඒ තෙවැනි එක්‌දින තරගයේදී දවා ගත් ෂිකර් ධවාන්ගේ කඩුල්ලය. තරග තුනේදීම මාලිංගගේ පන්දුවාර 21 තුළදී ලකුණු හයක සාමාන්‍යයක්‌ රඳවා ගැනීමටද ඉන්දියානුවන් සමත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් මාලිංග පවසන්නේ මෙවැනි අදහසකි.

“මම මාස දහනවයක්‌ ක්‍රීඩා කළේ නැහැ මගේ කකුලේ අමාරුව හින්දා. අයි.පී.එල්. වලින් පස්‌සෙ මම පන්දුවාර දහය යවන්න හොඳ තත්ත්වයකට ආවා. මේ තරගාවලියේදී මෙන්ම ඉස්‌සල්ල තිබුණ තරගාවලියේදීත් මට හොඳින් දක්‍ෂතා අතරට එන්න බැරි වුණා. ඒ නිසා අවුරුදු දහ හතරක්‌ මම කරපු දේට වඩා ඒ කාලයේදී මගේ දුර්වලතාව කතා බහට ලක්‌ වුණා. දැන් මට 35 ක්‌ වෙනවා.”

මාලිංගගේ කතාව අනුව ඔහු සමුගැනීමට සූදානමක්‌ පවතීද නැතහොත් 2019 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කරයිද යන්න විමසන ලදුව ඔහු සිනහවෙමින් විහිළුවට මෙන් පවසා සිටියේ, “ඔව් මම 2023 වෙනකම් ක්‍රීඩා කරනවා.” යනුවෙනි.

මාලිංග එක්‌දින තරග 202 කදී කඩුලු 299 ක්‌ ලබා ගෙන ඇති අතර ඔහු එහිදී කඩුලු හතර බැගින් දවා ගත් අවස්‌ථා නවයක්‌ සහ කඩුලු පහ බැගින් දවා ගත් අවස්‌ථා තුනක්‌ සටහන් කරගෙන තිබේ. ඉන්දියානු හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහභාගි වන්නේද සිය තුන්සිය වැනි එක්‌දින තරගයටයි. මේ පිළිබඳව මාලිංගගෙන් විමසන ලදුව,

“මහේන්ද්‍ර සිං දෝනි එයාගෙ රටට ගොඩක්‌ දිනුම් ලබා දුන්න කෙනෙක්‌. එයාගෙ දක්‍ෂතාව ඉතාමත් විශිෂ්ටයි. මමත් සතුටු වෙනවා කඩුලු 299 ක්‌ මගේ රට වෙනුවෙන් ලබා ගත්ත එක ගැන. ඒක මට ලොකු අභිමානයක්‌. මම කඩුලු තුන්සීයක්‌ බලාගෙන ක්‍රීඩා කරන්නෙ නැහැ.”

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පසුබෑම පිළිබඳව මාලිංගගෙන් විමසන ලදුව ඔහු ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවයෙන් අඩුවක්‌ නොමැති බවත් ප්‍රශ්නය ඇත්තේ මානසිකත්වය පැත්තෙන් බවත් පවසා සිටියේය.

“ඉස්‌සර අපිට හිටියා හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්. නමුත් අපිට මේ අවස්‌ථාවේදී ඉන්නවා හොඳ නවක ක්‍රීඩකයන්. ඊළඟ අවුරුදු දෙක යන කොට හොඳ කණ්‌ඩායමක්‌ ලංකාවේ ඉන්නවා. මේ අවස්‌ථාවේදී අපේ පිතිකරුවන්ගේ හෝ පන්දු යවන්නන්ගේ අඩුවක්‌ මම දකින්නෙ නැහැ. ප්‍රශ්නය තියෙන්නෙ ඔවුන් ඒ දෙය භාවිතා කරන ආකාරය ගැන. මේකට මනස හදාගන්න ඕන. මම මේ දවස්‌ දෙකේදී ගොඩක්‌ මහන්සි ගත්තේ කණ්‌ඩායමේ මානසිකත්වය උඩට ගේන්න. මේ තරගයේදී අපිට මානසිකත්වය ශක්‌තිමත් කර ගන්න පුළුවන් වුණොත් යහපත් ප්‍රතිඵලයක්‌ දකින්න පුළුවන් වේවි.”

තරගයට ක්‍රීඩා කරන සංචිතය පිළිබඳව අවසන් තීරණය ගැනීමට තවත් කල් අවශ්‍ය බව මාලිංගගේ මතය වී තිබේ.

“ධනුෂ්ක ගුණතිලකගේ තත්ත්වය තවම හරියට කියන්න දන්නෙ නැහැ. තණතීරුව බලල තමයි අපිට තීරණය කරන්න වෙන්නෙ ක්‍රීඩා කරන 11 දෙනා කවුද කියලා. ඩිල්ෂාන් මුණවීරත් කණ්‌ඩායමට ඇවිල්ල ඉන්නවා. ධනුෂ්ක ක්‍රීඩා නොකළොත් ඔහු ආරම්භක පිතිකරුවා වේවි.”

නායකයා ලෙස පසුගිය තරග හෝ එම තරග නායකත්වය දැරුවේ කවුද යන්න තමා නොසිතන බවත් තමාට දුන් රාජකාරිය පිළිබඳව පමණක්‌ දැන් අවධානය යොමු කරන බවත් මාලිංග පවසයි. “මම පසුගිය තරග ගැන හෝ නායකත්වය දැරුවෙ කවුද කියන එක ගැන හිතන්නෙ නැහැ. මම හිතන්නෙ මට භාරදීපු වගකීම කරල දෙන්න. මම ගහපු ක්‍රිකට්‌ එකෙන් දන්න දෙයින් නවක ක්‍රීඩකයන්ට කියා දීලා වගකීම ඉටු කරන්න තමයි උත්සහ කරන්නෙ.”

පීඩනය යනු කුමක්‌ද කියා තමා නොහඳුනන බවත් පීඩනය එන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න බැරි වුණහම බවද මාලිංග පැහැදිලි කළේය.

“පීඩනය කියන්නෙ ඒ අවස්‌ථාවට කරන්න තියෙන දේ දන්නෙ නෑ කියන එකයි. මම පීඩනය කියන එක ගණන් ගන්නෙ නැහැ. මොකද පසුගිය අවුරුදු දහ හතරෙදි මම ඕන තරම් පීඩනවලදි ක්‍රීඩා කරල තියෙනවා.”

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *