Sat. Jun 25th, 2022
Share Button

රඹුක්කන ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ කලහකාරී තත්ත්වයේදී සිදුවූ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පූරණ විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පසුගිය 19 වන දින රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වී ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර තිබෙනවා.

මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බි. චමින්ද ලක්ෂාන් මියගිය අතර, ඊට අදාළ විමර්ශනය අපරාධ නඩු  විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන දින 03ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසටයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ.

මරණයට පත්වූ පුද්ගලයාගේ අවසන් කටයුතුහෙට (22) දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතයි.

දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙසට  පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ද ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මහජන  ආරක්ෂක පනතේ 12(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළේ.

ඒ අනුව 2022.04.23 දින දක්වා දේවාලේගම, රඔුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලැබෙනු ඇති.

මේ අතර, රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම්කාරි  සිද්ධියට අදාළ නඩු විභාගය අද යළිත් වරක් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවේයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණක් ටිපෙක්ස් කර මකා දැමීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයෙන් ඊයේ සමාව ගනු ලැබුවා.

ඒ, මීට අදාළ නඩුව ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත්වරිය හමුවේ කැඳවූ අවස්ථාවේ අගතියට පත් නීතිඥවරුන් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

මෙවන් පසුබිමක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෙට මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබෙනවා.

මේ අතර, රඹුක්කන සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ නිවසට අද පෙරවරුවේ ෆීඩ්ල් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැමිණියා.

එමෙන්ම, එම නිවසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙන්ති ද පැමිණ සිටියා.

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ දෙවන දිනටත් කැඳවනු ලැබුවා.

එහිදී ඇසින් දුටු සාක්ෂිකaරුවන් 6 දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී සාක්ෂි සටහන් කර ගැණුනා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥයින් 43 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා නැතැයි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විශ්වාසයක් නොමැති බැවින් සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝග කළා.

එමෙන්ම හෙට දිනම රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විමර්ශන කටයුතු සිදු කරන ලෙස නියෝග කල මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල ගිනිඅවි පිළිබඳ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

සිද්ධිය පිළිබඳ විමර්ශන මීට වඩා කාර්යක්ෂමව සිදු විය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ.

මේ අතර අදාළ ගැටුම සම්බන්ධ ස්ථානීය පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අනෙක් බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වරදක් කරන ලදැයි වූ චෝදනාව මහේස්ත්‍රාත්වරිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා තිබෙනු අධිකරණයේ දී ඊයේ නිරීක්ෂණයට ලක්වුණා.

එම වගන්තියේ ඇතුලත් වන්නේ නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පළ වූ අතර අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටියා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට ද පොලිසිය පොරොන්දු වුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු හෙට දින එම කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

Share Button

Leave a Reply

Your email address will not be published.