Sun. Dec 5th, 2021
Share Button

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි රෛනි චාරුකා ගුණතිලක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම වසර හතකට අධික කාලයක් නිහඬව සිට නැවත නව මුහුණුවරකින් නව ගීතයකින් ඔබ හමුවට ඇය ඇවිත්. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් කලා ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන ගමනක් යන රෛනි ඇයගේ නවතම ගීතය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මම කාලෙකට පසුව අලුත් ගීතයක් කළා. ගීතයේ නම කළුවරට බය හින්දා. ගීතය නිර්මාණය කරලා ඉවර වුණාට පසුව මට හිතුණා ඒකට දෙමළ වර්ෂන් එකක් තියෙන්න ඕනේ කියලා. මොකද ගීතයේ වැඩියෙන්ම ඇහෙන්නේ දකුණු ඉන්දියානු සංගීතය. මේ ගීතයේ තනුව නිර්මාණය කළේ දිනේෂ් ගමගේ. සංගීත සංයෝජයන අමිත් ගුරු. සිංහලෙන් ගීතය ලිව්වේ මනුරංග විජේසේකර, දෙමළ ගීතය ලිව්වේ පොතුවිල් අස්මින්. ගීත දෙකම මේ වෙද්දි එළිදක්වලා තියෙන්නේ.

රූපරචනාව නිර්මාණය කරද්දි මට ඕනේ වුණා එය දෙමළ ආභාසය සහිතව නිර්මාණය කරන්න. ඒ වගේම මම හරිම ආසයි මාව වෙනස් ස්වරූපවලින් මිනිස්සු දකිනවට, පේනවාට. ඒ නිසා මට ඕන වුණා මේ රූපරචනාවට සම්පූර්ණයෙන්ම දෙමළ චරිතයක් වෙන්න. ටිකක් සිනමාත්මක විදිහට සතීෂ් රත්නරාජා අධ්‍යක්ෂණය කරලා ලස්සන රූපරචනාවක් නිර්මාණය කරලා දුන්නා.

ඒ රූපරචනාවේ ඉන්නේ මනුරංග විජේසේකර සහ නිරංජනී ෂන්මුගරාජා. මට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබුණා මනුරංග අයියාව වීඩියෝ එකකට සම්බන්ධ කරගන්න. ඔහුට තියෙන්නෙත් දෙමළ පෙනුමක්. ඔහු අඳීන්න පලඳීන්නෙත් ඒ විදිහට. මනුරංග අයියා තමයි අපි සින්දුවක් කරමු, අලුත් වැඩක් කරමු කියලා මාව නිතරම අලුත් නිර්මාණයක් කරන්න පෙළඹුවේ. නිරංජනී කියන්නේ මගේ හොඳම යාළුවෙක්. කළුවරට බය හින්දා ගීතයේ දෙමළ ගීතය ගායනා කරන්න මගේ භාෂාව, වචන උච්චාරණය ඔක්කොම සකස් කළෙත් ඇය. ගීත රූපරචනාවට අවශ්‍ය ඇඳුම් පැලඳුම් පවා සකස් කළේ ඇය. ඒ වගේම ඇය ජාතික සහ අන්තර් ජාතික වශයෙන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇයට ගරු කිරීමක් වශයෙන් ඇයව ගීතයට මම සම්බන්ධ කරගත්තා. මේ දෙන්නාම මගේ හොඳම යාළුවො සහ දෙන්නාම හොඳ වැඩකාරයෝ දෙන්නෙක්. මේ දෙන්නාම මීට පෙර ගීත රූපරචනාවලට ඉඳලා නැහැ. ඔවුන් දෙදෙනාම රූපරචනාවට සම්බන්ධ වීම මගේ ගීතයටත් එළියක්.

ඉතින් ඒ වගේම ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතාම ධනාත්මක, ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඍණාත්මක ප්‍රතිචාර ලැබෙන්නේ නැති තරම්. හැමෝම අහන්නේ රූපරචනාවේ අවසානයට මොකද වුණේ කියලා. ඒක ප්‍රශ්නාර්ථයක් විදිහට අවසන් කරන්න අවශ්‍ය වුණෙත් ඒ වගේ ප්‍රේක්ෂකයන් අතර සාකච්ඡාවක් ඇති කරන්න බලාගෙනමයි. ගීතයට සහ රූපරචනාව යන දෙකටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම හොඳ විතරමයි කිව්වේ. ඒ ගැන ගොඩක් සන්තෝසයි.

මට පසුගිය කාලේ රංගනයට ආරාධනා ආවා. විවිධ චරිතවලට. නමුත් මම නිතරම හිතනවා කලා කටයුතුවලින් සැබෑ ජීවිතයේ මගේ පෞරුෂයට හානි වනවා නම් ඒ දෙය කරන්නේ නැහැ කියලා. දැන් ආයෙමත් රංගනය ගැන පොඩි කතාබහක් තියෙනවා. ටිකක් දැවැන්ත චිත්‍රපටයකට ආරාධනා ආවා. ඒක කරනවාද නැද්ද කියලා අවිනිශ්චිත තැනක මම තවම ඉන්නේ.

ඉතින් ඒ වගේම ලංකාවෙන් අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය වුණ එකම කලාකාරිනිය යොහානි විතරයි. ගායකයෙක් පිටරටකට ගිහින් ගීත ගායනා කරනවා අහන්න ඒ රටේ මිනිස්සු එනවා නම් විතරයි ඒකට ජාත්‍යන්තරයට ගියා කියන්න පුළුවන්. වෙනත් රටක ජීවත් වෙන ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ගීත ගායනා කරනවා කියන එකට ජාත්‍යන්තරයට ගියා කියන්න බැහැ. රටවල් සෑහෙන්න ප්‍රමාණයකට ගිහින් ඒක අපිත් කරනවා. යොහානි ඉන්දියාවට ගියාම එයාගේ සින්දු අහන්න ආවේ ඉන්දියානු ජාතිකයන්. ජය ශ්‍රී එකේ රොහාන්, රොහිත දෙන්නාට ඔස්ට්‍රියාවේ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. එයාලගේ ගීත අහන්නේ එන්නේ ඒ රටේ ප්‍රේක්ෂකයන්. ඒ වගේම චිත්‍රාල් සෝමපාල ජර්මනියේ සංගීත කණ්ඩායමක් කරනකොට ඔහුගේ ගීත අහන්න එන්නේ ජර්මන් ජාතිකයන්.

යොහානිගේ වෙනස තියෙන්නේ යොහානි ජීවත් වුණේ ලංකාවේ. නමුත් ඇය ජනප්‍රිය වෙන්න ඉන්දියාවේ. දැන් ටිකෙන් ටික ඇමරිකාවේ සංගීතඥයන් යොහානි ගැන කතා කරනවා. ගොඩක් අය යොහානිට බැන්නා ඇගේ අඩුපාඩු කියලා. රසාස්වාදය කියන්නේ ඕනෙම කෙනෙක්ට විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක්. කලා නිර්මාණයක් මිනිස්සුන්ට දැනෙන විදිහ කාටවත් පාලනය කරන්න බැහැ. යොහානිගේ මැණිකේ ගීතය ලංකාවේ ජනප්‍රිය වුණා වගේම ඊටත් වඩා ඉන්දියාවේ ජනප්‍රිය වුණා. ඒක ඒ මිනිස්සුන් වැළඳගත්තා. ලංකාවේ ගොඩක් කලාකරුවෝ එයාට බැන්නා. නමුත් මම ඒක දකින්නේ සෑහෙන්න ධනාත්මක විදිහට. අපේ රටේ කලාකරුවන් කොහොමහරි අන්තර් ජාතික මට්ටමට යන්නයි ඕනේ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ සංගීතය දේවත්වයෙන් අදහන රටක ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්.

හැමදේම කොහොමත් පරපුරෙන් පරපුර වෙනස් වෙනවා. මිනිස්සු නිදහසේ, ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ කරනවා. වෙනත් කෙනෙකුගෙන් යැපෙන එක අඩු කරලා තියෙනවා. මගේ තාත්තා රූකාන්ත ගුණතිලක මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාටත් ක්ලැරන්ස් විජයවර්ධන මහත්මයාටත් සින්දු හදලා දීලා තියෙනවා. ජෝතිපාල මහත්මයාටත් සින්දු හදලා දීලා තියෙනවා. ඒගොල්ලො හොඳ යාළුවො. ඒ අය ලොකු මිතුදමක් හදාගෙන ඒකත් එක්ක තමයි ක්ෂේත්‍රයේ හිටියේ. දැන් මිනිස්සු ලෝකෙට මූණදෙන්නේ තනි තනිව. කලාකරුවෝ ක්ෂේත්‍රයේ ඉන්නෙත් තනි තනිව. එතකොට නිරායාසයෙන් තමන් ගැන ආත්ම අභිමානයක්, අහංකාරයක් ඇතිවෙනවා.

දැන් පරපුර අපිට ටීවී ඕනෙ නැහැ යූටියුබ් තියෙනවා කියනවා වගේ අලුත් ගායකයො කියනවා පරණ අය ඕන නැහැ කියලා. ඒක මම අනුමත කරන්නේ නැහැ. ඒක හරි දෙයක් නෙමෙයි. ඒ හැමෝම ක්ෂේත්‍රයට ආවේ හරිම අමාරුවෙන්. ඔවුන් ඔවුන්ගේ තැන හදාගන්න මහන්සි වුණා. මේකේ තව පැත්තක් තියෙනවා. ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කියනවා අපි දුක්විඳපු තරම් මහන්සි වුණ තරම් අලුත් අය මහන්සි වෙන්නේ නැහැ කියලා. අපි කාපු කට්ට අලුත් අය කන්නේ නැහැ කියලා එයාලා හිතනවා. ඒකත් වැරදියි. ඒක ඒ අයගේ කතාව, මේක මේ අයගේ කතාව. මිනිස්සු වැඩ කරන්න වෙන මහන්සිය කැපකිරීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒත් තමන්ගේ තැන හදාගන්න හැමෝම මහන්සි වෙනවා.

මමත් කියනවා මම මෙතැනට ආවේ අමාරුවෙන් මහන්සි වෙලා කියලා. එතකොට සමහර අය මගෙන් අහනවා ඔයාට මොකක්ද මහන්සි වෙන්න තියෙන්නෙ ඔයාගෙ අම්මයි තාත්තයි ජනප්‍රිය අයනේ කියලා. ඒ අය මුහුණදෙන ප්‍රශ්න, ගැටලු වෙනස්. මම මුහුණ දෙන ප්‍රශ්න ගැටලු වෙනස්. මම අවුරුදු 12ක කාලයක් ක්ෂේත්‍රයේ ඉන්නවා. කාලෙන් කාලෙට ගායක ගායිකාවෝ එන යන විදිහට එහෙම ඉන්න එකත් අමාරු වැඩක්. මාව දැන් ප්‍රේක්ෂකයෝ දෙමළ විදිහට දැක්කා. ඊට කලින් සිංහල විදිහට දැකලා තියෙනවා. මම ඊළඟට එන්නේ වෙන පෙනුමකින් වෙන විදිහකට. මම වසර හතක් අලුත් ගීතයක් කරන්නේ නැතුව හිටියා. ඒ වසර හතට අලුත් ගීත හතක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *