රටේම ආන්දෝලනයකට ලක්වුණු සයිටම් ආයතනය ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි ?

Share Button

සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයාට වෙඩි තැබීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු විවිධ ප‍්‍රකාශ කරමින් තිබෙනවා. රාජිත සේනාරත්න ඇමතිවරයා සහ මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකළ ප‍්‍රකාශවල තිබුණේ මේ තත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් එය වර්ධනය වුවහොත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දක්වා මෙම කි‍්‍රයාවන් ගමන් කළ හැකි බවත්ය. එම ප‍්‍රකාශවලින් කියවුණේ සයිටම් ආයතනයට එරෙහි කණ්ඩායම් වෙත මෙම වෙඩි තැබීමේ කි‍්‍රයාවේ වගකීම පවරන බවකුයි.

සයිටම් ආයතනයට එරෙහිව විශාල අරගලයක් දියත් කොට තිබෙන ශිෂ්‍ය සංගම් ඇතුළු බහුජන ව්‍යාපාරවලට එම වෙඩි තැබීමේ වගකීම පැවරීමට ආණ්ඩුව කටයුතු කරනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ඉතිහාසයත් එවැනි එකක්. තමන්ට එරෙහිව කටයුතු කරන විවිධ කණ්ඩායම් වෙත මර්දනය දියත් කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව අතීතයේදීත් මෙවැනිම කි‍්‍රයාවන් සිදුකර තිබෙනවා. එයට හොඳම උදාහරණයක් තමයි 1983 කළු ජූලිය. එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන්, පාතාල කණ්ඩායම් සමඟ ආණ්ඩුව කළු ජූලිය දියත් කළා. එම සිදුවීමට මුවාවී ජේ.ආර්. ජයවර්ධන දේශපාලන පක්‍ෂ තහනම් කිරීමට කටයුතු කළා. මෙම වෙඩි තැබීම මගින්ම ප‍්‍රකාශ වන්නේ එවැනි දෙයක්. එනිසා අපි ආණ්ඩුවට බල කරනවා මෙම සිදුවීම යට යන්න නොදී මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් සිදුකොට මෙයට සම්බන්ධ වූවන් හෙළිදරව් කළ යුතුයි කියලා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකොට හෙළිදරව් නොකරන තාක්කල් මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුවීම වළක්වන්න බැහැ. මොකද, ආණ්ඩුවේ රැුකවරණය ලබන හස්තයක් නොමැති නම් මෙය හෙළිදරව් කළ යුතුයි. අපේ පොලීසිය ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් තරම් දක්‍ෂ පොලීසියක්. පොලීසියට සොයාගත නොහැකි සිදුවීම් පිටුපස ආණ්ඩුව හිටියා. ඒ නිසා තමයි එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, තාජුඞීන් ඝාතනය වැනි ක‍්‍රියාවල වගඋත්තරකරුවන් සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා ආණ්ඩුවේ රැුකවරණය එම සිදුවීම්වලට තිබෙන බව. ඒ නිසා මෙම වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව අපි අවධාරණය කරනවා.

මෙම සයිටම් ආයතනය ඉතාම වංචනික ආයතනයක්. එහි ඉතිහාසය ගත්තාම ආයතනය පිහිටුවීම වෛද්‍ය පීඨය ආරම්භ කිරීම, රුසියාවේ විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ යැයි ප‍්‍රකාශ කිරීම යන සිදුවීම්වලදී ඉතාම තක්කඩි වංචාවලින් පිරිලා තිබෙනවා. තාජුඞීන් ඝාතනයට සම්බන්ධ ඇටකටු සයිටම් රෝහලේ තිබිලා හමුවුණා. ඒ තරම් තක්කඩි අමන කි‍්‍රයාවලට සම්බන්ධ ආයතනයක් තමයි සයිටම් කියන්නේ. එවැනි ඉතිහාසයක් තිබෙන ආයතනයක් විසින් මෙම වෙඩි තැබීමේ කි‍්‍රයාව නොකළා යැයි හිතන්නට පුළුවන්කමකුත් නැහැ. එම නිසා මෙම වෙඩි තැබීම වෙන දිසාවන්වලට යොමු නොකර ඒ සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතුයි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු සයිටම් විරෝධය ප‍්‍රබල වී තිබෙනවා. එම ප‍්‍රබල විරෝධය වෙන අතකට යොමු කිරීමට සයිටම් ආයතනය මෙවැනි කි‍්‍රයා සිදුකරනවා කියලත් සැක කරන්න පුුළුවන්කම තිබෙනවා. මෙම කි‍්‍රයාව සමීර සේනාරත්න හා සම්බන්ධ පෞද්ගලික දෙයක්ද නැතිනම් කුමන්ත‍්‍රණකරුවන් පිරිසක් විසින් කරන ලද්දක්ද නැත්නම් සයිටම් විරෝධය නිසා සිදුකළ දෙයක්ද යන්න නිශ්චිතව තහවුරු කරගත යුතු වෙනවා. අපි පාර්ලිමේන්තුවේදීත් අගමැතිවරයාට කිව්වා මේ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන්න කියලා. මෙවැනි විගඩම් නාටකවලින් සයිටම් ආයතනයට තිබෙන විරෝධය යටපත් කරන්න පුළුවන්කමක් නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව විශාල විරෝධතාවයක් දියත් කරමින් තිබෙනවා. එම අරගලයට අප පක්‍ෂයක් ලෙස අපගේ අවංක සහයෝගීත්වය පළ කරනවා. සයිටම් විරෝධී අරගලයට අපි හැකි උපරිම ශක්තිය යොදා මැදිහත් වෙනවා. අද අප අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවත් සමග සාකච්ඡුා කළා. අධ්‍යාපනය පෞද්ගලීකරණයේ සංකේතය බවට පත්වෙලා තිබෙන මෙම සයිටම් ආයතනය අහෝසි කරන තුරු මේ සටනට අපේ ප‍්‍රබල සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අප පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරනවා. අපේ රටේ අධ්‍යාපනයත්, වෛද්‍ය අධ්‍යාපනයත්, සෞඛ්‍යයටත් මේ ආණ්ඩුව සිදුකරන අහිතකර බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. මේ මාසය පුරා දැවැන්ත විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ දමන, නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට උත්සාහ කරන මෙම කළු ආයතනය අහෝසි කළ යුතුයි.

මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා රටේ ජනාධිපතිවරයා, හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සයිටම් ආයතනයට ළමුන් ඇතුලත් කිරීමට විරෝධය පළකරමින් තමන් විසින් ලබාදුන් නිර්දේශ, තීරණ නැවත මතක් නොකර සිටීමේ අරමුණ මොකක්ද? ජනාධිපතිවරයා වහාම මෙම ශිෂ්‍ය මර්දනය පිළිබඳව, සයිටම් ආයතනය පිළිබඳව රටට ප‍්‍රකාශයක් කළ යුතුුයි. නිහඬ ගොළු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ, තමන්ගේ අතිජාත මිත‍්‍රයා ආරක්‍ෂා කරන්නද? ලොතරැුයි මිල වැඩිවූ අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ ප‍්‍රකාශයක් කළා. ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු නාවික හමුදාපතිවරු අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ වෙලාවේ ජනාධිපතිවරයා එයට මැදිහත් වී ප‍්‍රකාශයක් කළා. එෆ්.සී.අයි.ඞී. ආයතනයට හමුදා නිලධාරීන් කැඳවන විට ප‍්‍රකාශයක් කළා. එවැනි සියලූම සිදුවීම්වලදී අදහස් දක්වන ජනාධිපතිවරයා ඔහු හමුවීමට එන උද්ඝෝෂණවලට පහර දෙන්නේ තමන්ගේ අතිජාත මිත‍්‍රයා වන රාජිත සේනාරත්න ආරක්‍ෂා කිරීමටද?

අපේ රටේ අගමැතිවරයාත් සියලූම සිදුවීම්වලදී හොරගල් අහුලනවා වගේ මෙම ප‍්‍රශ්නයේදී තමන්ගේ සහචර කණ්ඩායම් කරළියට ගෙන එමින් ඉන්නවා. ඔහු නිශ්චිත අදහසක් රටට කියනවා වෙනුවට හොරගල් අහුලනවා. ගොළුවා කසාය බිව්වා වගේ ඉන්න ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපත්තිය වහාම වෙනස් කළ යුතුව තිබෙනවා. වෛද්‍යවරයෙක් එම වෘත්තියේ ලියාපදිංචි කරන වෛද්‍ය සභාව මෙම සයිටම් ආයතනය ප‍්‍රතික්‍ෂේප කොට තිබෙනවා. දෙමාපිය සංගම්, වෘත්තීය සමිති, රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු මුළු ජනතාවක් සයිටම් ආයතනයට එරෙහිව කතා කරනවා. පසුගිය කාලය පුරාවටම මාධ්‍යවේදීන් මේ පිළිබඳව කොතරම් ප‍්‍රවෘත්ති වාර්තා කළාද?. මුළු සමාජයේම ආන්දෝලනයට ලක්වූ මෙම ආයතනය පිළිබඳව අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් මුනිවත රකිනවා. ආණ්ඩුව මෙම සයිටම් ආයතනය ගැන තමන්ගේ ස්ථාවරය රටට ප‍්‍රකාශ කළ යුතුයි. කිරිඇල්ලගේ ප‍්‍රකාශ, තමන්ගේ උත්සාහය ඵල දැරීම නිසා උද්‍යෝගයෙන් කතා කරන එස්.බී.ගේ ප‍්‍රකාශ, සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න රාජිතගේ ප‍්‍රකාශ නොව ආණ්ඩුවේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුව මෙම නීති විරෝධී සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි. ආණ්ඩුව ඉතා ඉක්මණින් මෙම ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් විය යුතුයි. එසේ නොමැති නම් ශිෂ්‍ය ව්‍යාපාර, වෛද්‍ය සංගම්, බහුජන සංවිධාන සමඟ එක්ව සයිටම් අහෝසි කරන අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙනවා.

Share Button

2 thoughts on “රටේම ආන්දෝලනයකට ලක්වුණු සයිටම් ආයතනය ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි ?

  1. Riyas

    ජ වි පෙ ගෙන් පිළිතුරක් අපේක්ෂා කරමි

    ඔවුන් විරුද්ඩ සය්ටම් එකට ද

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ද

    පෞද්ගලික අධ්‍යාපනයට ද

    නැතිනම් දොස්තරලාගේ උවමනා වෙනුව්න්ද පෙනී සිටින්නේ

    පෞද්ගලික සියලු අධ්‍යාපන රටට අවශ්‍යයි කියා ජනතාවට නම් තේරිලා තියෙන්නේ.

    ඔබලාට එය තේරෙනකල් මිනිසුන් කතාව ශෝක් කියා අප්පුඩි ගසයි එහෙත් ජ. වි පෙ ට ඡන්දය නම් දෙන්නේ නැහැ

    Reply
    • Iresh Jayasinghe Post author

      මම හිතන්නේ ප්‍රමිතියේ ගැටළුවක් තමා තියෙන්නේ … ඒවගේම ආයතනය නැත්නම් විශ්වවිද්‍යාලයේ ආරම්භයේ ගැටළුවක් තිනවා බොරුවෙන් වංචාවෙන් තමයි පටන් අරං තියෙන්නේ. වැඩිදුරටත් කිඋවොත් එක පටන් ගන්න අවස්ථාවේ බඳවාගැනීම් කරේ University of Cambridge එකේ පිළිගනිම තියෙනවා කියලා, එත් ඇත්තටම පළමු කණ්ඩායමේ ළමයි ඔවුන්ගේ හැකියාවන් අධ්‍යාපන සුදුසුකම් එම ආයතනවලට පෙන්නලා තමයි මේ කියන මාලබේ ආයතනයට සුදුසුකම් ලබාගැනීම් කරලා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාලය කරගෙන යන්න උවමනා නිසා තමයි අනිකුත් පීඨ පටන්ගෙන තියෙන්නේ ඒ ළමයිවත් බිල්ලට දීලා.

      Reply

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *