යම් ආකාරයකින් නැවත පැමිණෙනවා

Share Button

තමන් ඇමෙරිකා ධුරය හෙබ වූ වසර හතර ‘‘විශ්වාස කළ නොහැකි සුවිශේෂී වසර හතරක්’’ බවත් ‘‘යම් ආකාරයකින් නැවත පැමිණෙන’’ බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  (20) ප්‍රකාශ කළේය.

ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට පැය තුනක් පමණ තිබියදී ජනාධිපති ට්‍රම්ප් ඒ බව පැවැසීය.

ජනාධිපති ට්‍රම්ප් ඉදිරියේදී නව පක්ෂයක් පිහිටුවනු ඇති බව ද මේ වනවිට ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

‘‘යනවා කියලා මම ඔබට කියන්න ඕනෑ. එය දීර්ඝ කාලයකට පස්සේ යනවා කියනවා වගේ නම් නෙමෙයි’’ ධවල මන්දිරයෙන් පිටත් වීමට පෙර ට්‍රම්ප් කීය.

ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් කෙටි රතු පලසක් මතින් මරීන් වන් හෙලිකොප්ටර් යානයට පැමිණියේ ය. ඔවුහු එතැනින් ඇන්ඩෘස් ඒකාබද්ධ කඳවුරට පිටත් වූහ.

ඇන්ඩෘස් කඳවුරට ට්‍රම්ප්ට සහාය පිරිසක් රැස්ව සිටි අතර ට්‍රම්ප් ඔවුන්ට ආචාර කරමින් එහිදි රැස්ව සිටි පිරිස ද ඇමතී ය.

ට්‍රම්ප් රැස්ව සිටි පිරිස ඇමතීමට ඔහුට ජනාධිපතිවරයා ලෙස, අවසන් වරට ආචාර වෙඩි මුර 21 ක උත්තමාචාරයක් ඔහුට පිරිනැමිණි.

‘‘මේක විශ්වාස කරන්න බැරි සුවිශේෂී අවුරුදු හතරක්. අපි එකට එක්ව බොහෝ දේ ළඟා කරගත්තා. මම සැම විටම ඔබ වෙනුවෙන් සටන් කරනවා. ඔබේ ජනාධිපතිවරයා වීමට ලැබීම මට ඉමහත් ගෞරවයක් වගේම භාග්‍යයක්. අපි යම් ආකාරයකින් නැවත පැමිණෙනවා’’ යැයි ට්‍රම්ප් එහිදි කීය.

ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට 74 වැනි වියේ පසුවන අතර ඔහු 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරනු ඇතැයි පැවසේ. කෙසේ නමුත් මේ වනවිට ඔහුට එරෙහිව ඇමෙරිකානු කොංග්‍රසයේ දී දෝෂාභියෝගයක් සම්මත වී තිබෙන අතර සෙනට් මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය කිරීම සඳහා ඉකුත් (6) වැනිදා කොංග්‍රසය රැස් විය. කොංග්‍රස් රැස්වීම පැවැත්වෙමින් තිබියදී ට්‍රම්ප්ට සහාය දක්වන පිරිසක් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ. ට්‍රම්ප් ඔවුන් උසි ගැන්වූයේ යැයි චෝදනා එල්ල වී තිබෙන අතර ඔහුට එරෙහි දෝෂාභියෝගයට හේතුව වූයේ ද ‘‘කැරැලි ගැසීමට උත්සාහ කිරීම’’ යන්නයි.

ට්‍රම්ප් ඇන්ඩෘස් කඳවුරේ දී නව පරිපාලනයට සුබ පැතීමට ද අමතක නොකළේ ය. කෙසේ නමුත් හෙතෙම එහිදි බයිඩන් ගේ නම සඳහන් නොකිරීමට ද පරෙස්සම් විය.

‘‘නව පරිපාලනයට මම සුබ පතනවා’’ යැයි ට්‍රම්ප් කීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *