අවුරුදු හතරමාරක් මේ ආණ්ඩුව ක්‍රිකට් විනාශ කළා

Share Button

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේබව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා උත්සව කිහිපයකදී අද (16) අදහස් දක්වමිනි.

මව්රට සහ සේව්ද ස්පෝර්ට්ස් සංවිධානය මෙම ක්‍රීඩා උත්සව සංවිධානය කර තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ මම දැක්ක හොඳම තරගය. මෙම තරගයේදී කණ්ඩායම දෙකේම ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාව ලබා දුන්නා නම් හොඳ යැයි මම පෞද්ගලිකව සිතනවා.

එම තරගාවලියේදී අපේ කණ්ඩායම දිහා බැලූවිට අපේ කණ්ඩායම හිතුවට වඩා දක්ෂතා පෙන්නුම් කළා. නමුත් අපි හරි කණ්ඩායමක් තෝරා තිබුණේ නැහැ. ‍

එසේ හරි කණ්ඩායමක් තෝරාගෙන තිබුණා නම් අපිට අවසන් පූර්ව තරගයට පැමිණීමේ හැකියාව තිබුණා. අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයෝ තරගාවලියේදී ක්‍රමානුකූලව තම දක්ෂතා වර්ධනය කර ගත්තා.

නමුත් මැදපෙළේ දුර්වලතාව නිසා අපි ‍බොහෝ වෙලාවට අසරණ වුණේ. වැදගත්ම‍ දේ අපේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තියෙන විට ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැහැ.

අද ක්‍රිකට් පරිපාලනය සිදු කරන්නේ කිසිම විදියකින් ක්‍රිකට් දැනුමක් නැති අය. ඔවුන්ගේ ආශිර්වාදයෙන් ක්‍රිකට් මුදල් වියදම් කරමින් හතලියක් පමණ ලෝක කුසලාන තරගාවලිය බලන්න යනවා.

නමුත් අපේ රටේ පාසලකට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සල්ලි දෙන්නැයි කිව්වම ක්‍රිකට් පරිපාලනය අඩනවා. ගමේ දරුවන්ට කී‍්‍රඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයින්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලට, ගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ.

මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ වෙලා තියෙන්නේ. මේකට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අද කි‍්‍රකට් පරිපාලනය අන්ත දූෂිතයි. සුදුකාරයෝ, රේස්කාරයෝ නිසා අද කි‍්‍රකට් මුදලට ගිහිල්ලා තියෙන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දිහා බලන්න. අයි. පී. එල්. තරගාවලියට ගිය ක්‍රීඩකයින් ඉන්දියාව හමුවේ සාර්ථක වුණාද ? අයි. පී. එල්. ක්‍රීඩා කළ කිසිම ‍ක්‍රීඩකයෙක් ඉන්දියාව හමුවේ සාර්ථක වුණේ නැහැ. නමුත් අද කිසිම ක්‍රිකට් පරිපාලකයෙක් මේවා ගැන කථා කරන්නේ නැහැ.

අවුරුදු හතරමාරක් මේ ආණ්ඩුව ක්‍රිකට් විනාශ කළා. හිටපු ක්‍රීඩා අමාත්‍යවරු විශාල වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. සූදු කාරයින්ට නැවත වරක් බලය අල්ලන්න අවස්ථාව ලබා දුන්නා. ක්‍රිකට් පරිපාලනය කරන සූදු කාරයොත් ක්‍රීඩා අමාත්‍යවරුන්ට යටි අල්ලස් දුන්නා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදේශයේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය හදන්න 2017 වර්සයේදී රුපියල් මිලියන 55 ලබා දුන්නා. නැවත රුපියල් මිලියන 65ක් ලබා දුන්නා. ඔක්කොම රුපියල් මිලියන 120ක්. දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රදේශයේ බදුල්ල ක්‍රීඩාංගණයක් හදන්නත් මෙවර ක්‍රිකට් නිලවරණයට පෙර රුපියල් මිලියන 45ක් දුන්නා.

මේවා එක්තරා විදියකින් යටි අල්ලසක් විදියටයි මම දකින්නේ. කොහාම නමුත් දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මගේ හොද මිත්‍රයෙක්. ඔහුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ නමත් ක්‍රිකට් විනාශ කළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ නම් ගොන්නට එකතු වේවි…”

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *