සිල්රෙදි තීන්දුව ඉදිරිගමනට සුබවාදී පියවරක්

Share Button

රජයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකුට ලැබී ඇති දඬුවම හේතුවෙන් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන් දේශපාඥයන්ගේ බලපෑම්වලට කටයුතු නොකොට හරි දේ පමණක් සිදු කරමින් රාජකාරි නිසියාකාරයෙන් ඉටු කරනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ගම්පහ – පිළිකුත්තුව විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” ඇත්තෙන්ම ලලිත් වීරතුංග කියන්නෙ අපි කවුරුත් ගරු කරන රාජ්‍ය නිලධාරියෙක්. ඔහුට එවැනි දඬුවමක් ලැබීම ගැන අපි කවුරුත් සතුටු වන්නේ නැහැ. නමුත් ඔහු ඒ කාලෙදි හිටපු පාලකයන්ගේ බලපෑමට එවැනි වරදක් කර තිබේ නම් යම් කිසි දඬුවමක් ඔහුට විඳින්නට වෙනවා. රජයෙන් රුපියල් මිලියන 600 ක් ගෙන ඡන්ද කාලෙදි සිල් රෙදි බෙදා දීම නීති විරෝධී ක්‍රියාවක්. මෙවැනි ක්‍රියාවකට ඔහු මූලිකත්වය ලබාදී තිබේ නම් ඒ දඬුවමට යටත් වීමට සිදුව තිබෙනවා. මෙය අධිකරණයෙන් ලබා දුන් දඬුවමක්. නීතියට අපි හිස නැමිය යුතුයි.

එදා හිටපු පාලකයන් තමයි මේ මුදල් ගෙන තිබෙන්නෙ. මැතිවරණ ජයග්‍රහණයට ජනතාවගේ මුදල් ගෙන භාවිත කර තිබෙනවා. එදා සිටි පාලකයින්ගෙ බලපෑමකට තමයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන නිලධාරීන් මෙය සිදු කර තිබෙන්නෙ. නමුත් මෙතැන ප්‍රශ්නය තිබෙන්නෙ වැරැද්ද දැන දැන ඒ බලපෑමට කළාද කියන එකයි.
එතැන තමයි අපි කනගාටු වෙන්නෙ මේ දෙදෙනා ගැන. එතුමලා බලපෑමට එම ක්‍රියාව කරන්න ඇති. නමුත් වැරදි වැඩක් කියා දැනගෙනත් ඒ බලපෑමට කර තිබෙන නිසා තමයි මේ දඬුවම ලැබිල තියෙන්නේ.
මෙම දඬුවම නිසා රාජ්‍ය නිලධාරීන් කල්පනා කර දේශපාලකයන්ගේ බලපෑමට යටත් නොවී හරියාකාරයෙන් රාජකාරින් කරාවි. අපි බලන්නෙ රට හරි මාර්ගයකට ගේන්නයි. දූෂණයෙන් තොරව රට ගෙන යා යුතුයි. වසර දෙකක් තුළ යහපාලන ආණ්ඩුව කටයුතු කරගෙන යාමේදී පැමිණි ප්‍රශ්න ගැටලු පහව ගොස් ඇති නිසා ඉදිරියේදී සාර්ථකව කටයුතු කරගෙන යාමට හැකි වේවි.” යැයිද පවසා සිටියේය

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *